Tuesday, February 23, 2010

ඡායාරූප ප්‍රදර්ශණයක් දුටිමි


මම ඡායාරූප කරණය ගැන දන්නා ප්‍රමානය ඉතාම සීමිතය. නමුත් ඒ ගැන ඉතාම ප්‍රියතාවයක් දක්වන්නෙක් වෙමි. වසර ගණනාවක් තිස්සේ ඒ ගැන නොදන්නා නමුත් පසුගිය වකවානුවේ ඒ පිළිබද විශේෂ උනන්දුවක් දැක්වුයෙමි. ඡායාරූපකරණයේ තවත් එක් වෙනස් සීමාවක් වන්නේ මංගල ඡායාරූප කරණයයි. එවැනි පැවති මංගල ඡායාරූප ප්‍රදර්ශනයකයට පසුගියදා මම සහභාගී වුයෙමි. ප්‍රදර්ශණය පැවැත්වුයේ මහනුවර වුවද කොළඹ සිට නුවර යාමට තරම් ඒ ප්‍රදර්ශණය මට වැදගත් විය.

ඔහු නමින් රසාංග දිසානායක නම්විය. මංගල ඡායාරූප පිළිබද කල ගවේශණයකදී ඔහුගේ වෙබ් අඩවිය මගේ නෙත ගැටුනේ අහම්බෙනි. එකෙනෙහිම එම අඩවිය මුළුමනින්ම නැරඹුවෙමි. ඡායාරූප ප්‍රදර්ශණය පිළිබද තොරතුරු දැනගැනීමට මට ලැබුනේ එයට ගොඩවැදුනු නිසාමය. දුටු ඡායාරූප වලින් මා වශීවුයෙමි. ඇත්තටම රසාංග යනු මම දැනට ජීවිතයේ දුටු හොදම එලිමහන් ඡායාරූප ශිල්පියාය( Best Outdoor Photographer). එළිමහන් ඡායාරූප ගැනීමේදී ඔහු පෙන්වා ඇති දක්ෂතාවය ඉමහත්ය.

ඇත්තෙන්ම ඔහු ඡායාරූප ශීල්පියෙකු නොව කලාකරුවෙකි. ඔහුගේ ඡායාරූප තුලින් මා අළුත් කළාවක් අත්වින්දෙමි.

කොළඹ සිට මහනුවරට ගිය ගමනේ වෙහෙස ප්‍රදර්ශණය නරඹා නැතිකරගතිමි. ගතේ වෙහෙස නොව සිතේ වෙහෙසද නිවාගැනීමට ඒ ඡායරූ උපකාරිවෙයි.

මෙහි සදහන් සියළු ඡායාරූප ඔහුගේ වෙබ් අඩවියෙන් ලබාගත් ඒවා බව කරුණාවෙන් සළකන්න

Saturday, February 13, 2010

මියෙන මිතුදම

සරසවියෙ සිට බැන්ද
නිසංසල සොයුරු දම
පෙම නිසා, පසු බැන්ද
දියවෙමින් වියැකෙමින් තියනවා
තනිකරම මගෙ වෙන්න
කියා ඇය පතන විට
එකට සිටි සොයුරනුත්
ළගම සිටි මිතුරනුත්
ඔබ ඉවත්කර හොරෙන්
සදාකල් තනිවෙන්න හදනවා

Sunday, February 7, 2010

සමුදුරේ සටන

පොතක් ගැන ලියන්න හිතුවත් මේ පොත ගැන ලියන්න මට මුලින් හිතුනෙ නෑ. නමුත් කියවලා ඉවර වුන හන්දා ඒ ගැන ලියන්න හිතුනා. පොතේ නම සමුදුරේ සටන සහ අනෙකුත් ෂර්ලොක් හෝමස් කතා. ලියල තියෙන්නෙ චන්දන මෙන්ඩිස් මහත්තයා.

අනෙකුත් ෂර්ලොක් හෝම්ස් පොත් ඔක්කොම කියවපු මට මේ පොතත් ඒ වගේම වෙන්න ඇති කියලා හිතුනා. මොකද මේකෙ අඩංගුවෙන්නෙ ෂර්ලොක් හෝම්ස් ගෙ රහසිගත ලිපිගොනු කියලයි තියෙන්නෙ. එකිනෙකට වෙනස් කතා 6ක් තිබුනත් අනෙක් ෂර්ලොක් හෝම්ස් කතාවල තිබ්බ ජීවගුණය, කුතුහළය, ත්‍රාසය, රසවත් බව කියන කිසිම කරුණක් මේ කතාවල අඩංගු නෑ. සර් ආතර් කොනන් ඩොයිල් ලියපු කතාවක් කියල යන්තමින්වත් හිතන්න බැරි විදිහට තමයි මේවා ලියැවිලා තියෙන්නෙ.

කතාවක මුල පිටු දෙක තුන කියවන කොටම අපරාධකාරයා කවුද? අපරාධය සිද්ධවුනේ කොහොමද? කියල පාඨකයට හිතාගන්න පුළුවන්. මට දැනෙන විදිහට මේවා පසුකාලීනව ෂර්ලොක් හෝම්ස් සාහිත්‍යයට එකතුවුන ඒවා වෙන්න පුළුවන්.

කොහොම නමුත් අවසන් වශයෙන් මට කියන්න තියෙන්නෙ මේ පොත මගෙ හිත් නොගත් බවයි.